මාගේ ධර්මදුත සරසවිය

මාගේ ධර්මදුත සරසවිය

අනගාරික ධර්මපාල තුමාගේත් ඕල්කට් තුමාගේත් සමකාලීන බෞද්ධ ප්‍රබෝධයන් ආශ්‍රිතව දේශයේ පැන නැගුන අධ්‍යාපන නවෝදයේ ඌවේ ලකුණ වුයේ බදුල්ල ධර්මදුතයයි. මම 1960 ගණන්වල ධර්මදූතයට සම්බන්ධ වන විට මා සිටියේ පහ වසරේය. මාව ඇතුලු කර ගැනීමට විදුහල්පතිතුමා ප්‍රථමයෙන් අකමැති විය. මගේ තාත්තා පැරණි තනිමහල් ගොඩනැගිල්ලේ කාර්‍යලයට ගොඩවන පඩිපෙළේ හිඳ ගත්තේය. තමන්ගෙ දරුවන් ධර්මදුතයට නොගතහොත් මෙතැනින් නොනැගිටින බවට ප්‍රකාශ කරමින් තාත්තා හරිබරි ගැසුණේය. විදුහල්පතිතුමා මාව විදුහලට බඳවා ගත්තේය. එදා එතුමා මටත් මගේ මල්ලිටත් කළ උපකාරය අදත් සිහි කරමි.

එදා පටන් මමත් මල්ලිත් ධර්මදූතයෙන් සරසවි ගියෙමු. පේරදෙණිය සරසවියට ජෝතිපාල මහතාට පසු සරසවියට ගියේ මමත් ජයලත් ගුණපාල යන මාගෙ මිතුරන්ය.

මා ඉගෙනගත් සමයේ මට ඉගැන්වූ ගුරුවරු තරම් ශ්‍රේෂ්ඨ පිරිසක් මට හමු වී නැත. උප විදුහල්පති ජයලත් ඩබ්. ජිනදාස, මාර්ටින් ප්‍රනාන්දු, වී.මූ.ඩී ප්‍රේමතිලක, වයි.බී.එම්.එච් යාපා රත්නායක, සුජාතා ඔබේසේකර මැතිනිය, කොඩිකාර මැතිනිය, වැනි ගුරුවරු ඒ අතර ප්‍රධාන වෙති. අද මාගෙ සියලුම හපන්කම් මම උපයා ගත්තේ ධර්මදූතයෙනි. අනබෙරය පත්තරය මගේ පළමු ජන සන්නිවේදන ක්‍රියාවලියයි. ඊට මා මෙහෙය වූයේ ආදරණීය ගුරුදේවෝත්තම මෛත්‍රී රතනායක මහතායි. එතුමා මා පිටුපස නොසිටියා නම් මම මෙපමණ දුරක් ඒමට නොහැකිය.

පාසැලේදී ක්‍රීඩා ආදී කටයුතු වලට කිසිඳු සම්බන්ධයක් මාගෙ නොතිබුණි. දිනක් කොලඹට යාමට අපට සිදු වූ විට එල්.ඩබ් ජිනදාස සර් අප හා එකතු විය. එය මට කවදාවත් අමතක නොවේ. අපේ ඒ ගමනට සම්බන්ධ වූයේ එතුමා පමණකි. නියම ගුරුවරයා මා හඳුනා ගත්තේ එතුමාගෙනි.

මට පෑනක් නොතිබුනු අතර සුජාත ඔබේසෙකර ගුරු මෑණියෝ මට උදේට තීන්ත පිරවූ පෑනක් දුන්නාය. හවස නැවත ගෙනගොස් තීන්ත පුරවා උදේ නැවත දුන්නාය. මම ගුරුවරයා කව්දැයි ඉගෙන ගත්තේ ඇයගෙනි.

පිදුරුතලාගල ගොස් ගුරුවරුන්ට මත්පැන් දීමට මිතුරෝ මාව පෙළැඹූහ. වයි.බී.එම්.එම් යාපා ගුරුතුමා මට සදාකාලිකවම මත්පැන් බීම එපා කළේය. ඔහු නිසා මගේ ජීවිතයේ සිදු වූයේ වෙනසකි. මගේ තාත්තා මත්පැන් බිව්වේය. මා ඒ මග යා යුතු විය. ‍යාපා සර් මාව වෙන මගකට තල්ලු කලේය.

අපට ගණිතය ඉගැන්වූයේ විතාරණ ගුරුතුමාය. මට එදත් අදත් කවදත් ගණිතය අප්‍රිය විෂයකි. එහෙත් එතුමා මගේ වීරයෙක් විය. වික්‍රම ජයලත් සර්ගෙ පෞරුෂය උසස්පෙල සිටි අප කාගේත් පරමාදර්ශය විය. ජයසිංහ සර්ගෙ විදුහල්පති භූමිකාවට සම කල හැක්කෙක් ජයසිංහ සර්ගෙන් පසු ධර්මදූතයට නැති විය. කරුණාදාස සර්, සමරනායක සර් මෙන්ම වයලට් ගුරුතුමියත් අපට මහත් හෙවනක් වූවෝය.

මම අදත් මනසින් ධර්මදූතයට යමි. ජම්බු ගහ යට හෙවනේ මාගේ පියසේ හැම වැලි කැටයකට මගේ ගුරුවර ගුරුවරියන්ගෙ පා දූවිල්ල සැඟව තිබේ. මම දෙදන බිම ඔබා මාගේ පූජනීය ධර්මදුතයට වනදනා කරමි. මාගෙ සියලුම යහගුණ මට දුන්නේ මාගේ ආදණීය ධර්මදුතයයි.

ධර්මදුත සරණං ගච්චාමී.
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Share this post